Saturday, September 24, 2011

මිණි වදන්

කේවඩ්ඩය , මා ඍධි ප්‍රාතිභාර්ය්‍ය පෑමෙන් ජනයා පැහැදවීමට භික්ෂු සංඝයා හට අනු නොදක්වන්නෙමි. එබඳු වූ ධර්මයක් කිසි කලකත් දේශනා කොට නොමැත්තෙමි.

පින්වත, ප්‍රාතිභාර්ය්‍යයන් තුනක් මාගේ විශයැහි පවතී. කුඩා දැය මහත් කිරීම , මහත්වූ දැය කුඩා කිරීම , දිය මත ඇවිදිමාදි වූ දැය කිරීමට හැක්කා වූ ශ්‍රධාවට නොපැමිණි අන්‍ය තිර්තකයන් විසින් ගන්ධාරී විද්‍යාවකැයි අවමන් නැගිය හැක්කා වූ ඍධි විධ ප්‍රාතිභාර්ය්‍ය ද , තමන් වෙත පැමිනෙන්නාවූ සත්වයන්ගේ සිතැවිලි ආදේශ වශයෙන් ගෙන දක්වන්නා වූ අන්‍ය තොටුවන් විසින් මනිකා විද්‍යාවකැයි ඝර්භා නැගිය හැක්කා වූ අදේශනා ප්‍රාතිභාර්ය්‍ය ද තථාගතයන්ගේ පිළිකුලට හා ලැජ්ජාවට බඳුන් වන්නේය.

තථාගතයන් විසින් ලාමක විතර්කයන් හා අකුසල ධර්මයන් දුරු වන්නා වූ සත්පුරුෂ විතර්කයන් පහළවීමෙන් කුසල් වධ්නා වූ අනුශාසනා ප්‍රාතිභාර්ය්‍යම උස් තන්හි ලා සලකත් . ඒ කෙසේ වූ ප්‍රාතිභාර්ය්‍යක්ද යත් ,

මා විසින් මුල මැද අග යහපත් අර්ථ ඇත්තාවූ මුළුමනින්ම සුවිශුද්ධ වූ පිවිතුරු නිර්මල ධර්මය දේශනා කරනා කල්හි එසේවූ ආශ්චර්යවත් , අද්භූත වූ පිවිතුරු සත්පුරුෂ ධර්මය කනැ වැකෙන්නා වූ යම් කුල පුත්‍රයෙකුගේ සිත් හි සුවිශුද්ධ වූ ශ්‍රද්ධා ලාභය පහල වන්නේය.එතෙමේ එකල්හි සම්භාධක සහිත වූ කෙලෙස් කසටැ වැගිරෙන්නා වූ ගෘහ වාසය , ඥාතීන්, දේපල අතැර කසාවත් දරා භික්‍ෂා ඝාටනයෙන් යැපිය යුත්තා වූ අවකාශය වන්වූ සුවිශුද්ධ වූ ශාසන බ්‍රහ්ම චර්යාවේ බැසැ ගන්නේය.

එසේ බැසැ ගන්නා වූ ඒ පින්වත් භික්ෂුව ආර්ය වූ ශිලස්කන්ධයහි , ආර්ය වූ ඉන්ද්‍රිය සංවරයැහි , ආර්ය වූ සතිසම්පජන්‍යයහි හික්මි ආර්ය වූ සන්තුෂ්ටියෙන් යුත්වැ ආරන්‍යයහි සිත් අලවා කෙලෙස් තවන වැරෙන් යුත්ව පංච නීවරණයන් දුරු කරමින් අප්‍රමාද විහරණයෙන් කල් යවන්නේය. එසේ වසන්නාවූ යමෙක් වෙත්ද ඒ පින්වතාණන් කල් නොයවාම ධ්‍යානාදී අංගයන් ලබා සියලු ආශ්‍රවයන් නැවත නුපදිනා ආකාරයෙන් ප්‍රහාණය කොට පරම පිවිතුරු වූ නිවීමට පත් වන්නේමය.

මෙසේ වූ අද්භූත වූ ආශ්චර්යවත්, සම්පුර්ණ පරිවර්තනයක් සත්පුරුෂ ජීවිතයක් තුල ඇතිවන්නා වූ අනුශාසනී ප්‍රාතිභාර්ය්‍යයෙන්ම තථාගත වූ සම්මා සම්බුද්ධ වූ මා විසින් මාගේ පින්වත් ශ්‍රාවක පිරිසැ හික්මවන්නෙමි.

ගෞතම බුදුන් , පාවාරික අඹ වනයේදී

No comments:

Post a Comment