Wednesday, September 28, 2011

ඉන්ද්‍රිය වශ්‍යය

©2011 Buddha Dharma
Education Association Inc
මේ ඇස නම් වූ ඉන්ද්‍රිය අවබෝධ කොට ගත යුත්තකි. එලෙසින්ම අනෙකුත් පන්චෙන්ද්‍රියන්ද නුවණින්ම දැක නුවණින්ම මෙනෙහි කොට අවබෝධ කොට ගැන්ම යහපති. එම ඉන්ද්‍රියන්ගේ ස්වභාවයත් , ඒවා තැනී ඇත්තාවූ ධාතුන්ගේ ලක්ෂණයත් එම ඉන්ද්‍රියයන් මගින් සත්වයා හට ඇතිකරන්නා වූ පීඩනය හා තැවිමද එම පීඩනයන් හා තාපනයන් මැඩ ඉන්ද්‍රිය ස්වාමිත්වයට පත්වීමද සත්වයකු විසින් නුවනින් යුතුව බොහෝ දුකසේම කල යුත්තකි. සත්වයකු විසින් ලොව ඇති සියල්ල දනිතත් , එම සියල්ල අත්විදින්නා වූ ඉන්ද්‍රිය පස ගැන අවබෝධයක් , ස්වාමිත්වයක් නැත්තේ නම් කවර පලක්ද ?

ඇස , කන , නාසයාදී වූ ඉන්ද්‍රිය ධර්මයන් සතර මහා ධාතුන්ගෙන් නිර්මිතයැකි. එම සතරමහා ධාතුන් කිසි ලෙසකින් වත් ඒකාකාරයකින් නොපැවතී විපරිණාමයට පත් වීම ස්වභාව කොට ඇත්තාහ. එසේ අනිත්‍ය වූ මොහොතින් මොහොත බිඳී බිඳී යන්නා වූ පඨවී , ආපෝ , තේජෝ , වායෝ ආදී වූ සතර මහා ධාතුන්ගේ සංයෝජනයෙන් නිර්මිත වූ මෙම පන්චෙන්ද්‍රියන් හටද පටන් ගැන්මක් , පැවැත්මක් , ජරා ජීර්ණ වී විනාශයට පත් වී යාමක් නිතැතින්ම උරුමව පවතී.

මෙලෙසින් වූ පන්චෙන්ද්‍රියන් සත්වයා හට ලබා දෙන්නා වූ පීඩනය හා තැවීම කෙලෙසද යත්, ඇසට රුප දැකීමේ ආශාව පහල වූ කල්හි එම ඇස අයත් කොට සිටින්නා වූ ඇසෙහි දාස වූ සත්වයා එම රුපය කරා යෑමට එය පොළඹවයි. මා හට දිය ඇල්ලක් දැකිය යුතුය , කඳු මුදුනක සිට නගරය නැරඹිය යුතුය , සුපිරි තරු රඟන්නා වූ නර්තනයන් නැරඹිය යුතුය , ලාස් වේගාස් හෝ අයිෆල් කුලුන නැරඹිය යුතුයැයි කියමින් එම ඇස එහි දාසත්වයට පත්වූ සත්වයා මෙහෙයවයි. එයින් පීඩනයට පත්වන්නා වූ ඉන්ද්‍රිය දාස වූ එම අසරණ සත්වයා එවක්හි රෙදි මලු කරා ගසාගෙන , බොහෝ දුක් විඳ රැස් කොට ගත් මිල මුදල් වියදම් කොට සියල්ල අත හැර දමා ඇසත් රැගෙන එය කැමැත්තා වූ රුප පෙන්වීම සඳහා නික්ම යයි.

ඇසට ප්‍රියමනාප වූ රුපය පෙන්වූ කල්හි මොහොතකට තෘප්තිමත් වන්නා වූ ඇස සැනකින් වෙනත් අරමුණක් කරා සත්වයා මෙහෙයවයි. මෙලෙසින් දාසත්වයට පත්වූ සත්වයා රිසි පරිද්දෙන් මෙහෙයවන්නා වූ ඇස නම් වූ ඉන්ද්‍රිය , සත්වයා එලෙසින් මෙහෙයවීමට නොහැක්කා වූ කල්හි දැඩි ලෙසින් එය දරා සිටින්නා වූ සත්වයා පිඩාවට, තැවීමට ලක් කරන්නේය.දැඩි තැවීමට ලක්වූ අසරණ සත්වයා විටක උමතු වූවකු මෙන් හැසිරේ.විටක සිහි විකල් වේ. පීඩනය දරා ගත නොහැක්කා වූ කල්හි දෙනෙතින් කඳුළු වැගිරේ. අසහනයට පත්වූ සිතැති එම සත්වයා සොරකම් කොට හෝ බලහත්කාරයෙන් අන් සතු දෑ ලබාගෙන හෝ ඇසට අවැසි රූපයන් පෙන්වීමට උත්සුක වන්නේය. ඒ හේතුවෙන්ම සමාජයෙහි නින්දාවට ගැරහුමට ලක්වී හිරෙහි විලන්ගුවෙහි වැටීමද සිදු වන්නේය. රජ දඬුවමට ලක් වන්නේය. එසේ වූ ඇස එයට අවැසි රූපයන් පෙන්වූ කල්හි තෘප්තියට පත්වන්නේද නොවේ. බුර බුරා නග්නා වූ ගිනි ජාලාවකට ජලය ස්වල්පයක් වත් කල කල්හි මඳක් බැස ගොස් නැවත ක්ෂණයකින් නැග එන්නා සේ ඇසෙන් ඇති කරන්නා වූ තාපනය එයට අවැසි රූපයන් පෙන්වූ කල්හි මොහොතක් සංසිඳී ගොස් නැවත චණ්ඩව මොහොතින් නැගී එයි. ඇසෙහි දාස වූ සත්වයා එකල්හි සිටිනුයේ පැරිසියේ නම් ඔහු එහි සිටිමින්ම ඉදිරියට ඇසට පෙන්විය යුත්තා වූ රූපයන් පෙන්වීමට සැලසුම් සකසයි .ලබන නිවාඩුවටත් මෙහි පැමිණිය යුත්තේය , නැතිනම් ටජ් මහල් හි සොඳුරු දසුන් නැරඹීමට යා යුත්තේය යයි සැලසුම් සාදයි.

එනමුත් , ඇසට ඇත්තාවූ විවිධාකාර වූ රුප දැකීමේ නොතිත් ආශාව ක්ෂණ කාලයකට තෘප්ත වීම හැර අන් කිසි ගත යුත්තක් නොමැති බව , සිහිනෙන් කෑ මිහිරක් ලෙස එය හා එය හා සබැදි ආශ්වාදිමය ස්වභාවය මොහොතින් ජීවිතයෙන් ඉවත්වී යන බවත් ඉන් ජීවිතයට නිත්‍ය ලෙස ලැබුනා වූ කිසිවක් නොමැති බවත් දාසත්වයට හා ප්‍රමාදයට පත්වූ සත්වයා කෙලෙසින් නම් අවබෝධ කොට ගනිත්ද ?

ජීවිත කාලය තුරා ඇස නම්වූ ආයතනයට අවැසි දෑ නොතිත්ව අනලස්ව ලබාදීමෙන් පිඩාවට හා විඩාවට පත්වූ සත්වයා වියපත් වූ කල්හි පොලු පහරින් ඇති තුරා බැට කෑවකු වන් සේය. නැවත ඉන්ද්‍රිය දාසත්වයට පත්වීම ට යලි උපතක් කරා යෑමට ඇති ආශාව එම භවයෙහි ඔහු හිස මත හෙලනා අවසන් පොලු පහර වන්නේය.

අන් ඉන්ද්‍රියයන් සම්බන්ධවද මෙලෙසින් නුවනින් විමසා දත යුත්තේය.

මෙසේවූ මායාවී වූ පන්චෙන්ද්‍රියන් ගේ ස්වභාවය මැනවින් අවබෝධ කල කල්හි එම පන්චෙන්ද්‍රියන් සත්වයා හට කරන්නා වූ පිඩාව හා තැවීම තව දුරටත් බොහෝ ලෙසින් නොකොට සැඟවී යයි. ඒ කෙලෙසින්ද යත් , අනාචාරයෙහි හැසිර තම හිමිට හස්‌ වූ බිරිඳක් ඉන්පසු තම සැමි හට බියෙන් කීකරුව දාසියක මෙන් සේවය සලසන්නා සේය. කෙලි බඩු ඉල්ලා හඬන්නා වූ කුඩා මුරණ්ඩු දරුවකු පළමුව කරුණාවෙන් අවවාද කොට හික්මවන්නා සේ , දෙවනුව තරවටු කොටද තෙවනුව දඬුවම් පමුනුවාද හික්මවන්නා සේ ඉන්ද්‍රිය ස්වාමිත්වයට පත් වීමද ක්‍රම ක්‍රමයෙන් දුකසේ දියුණට පත් කොට ගත යුත්තකි.

ප්‍රථමව සත්පුරුෂ ධර්ම ශ්‍රවනයෙන් ඉන්ද්‍රියයන්ගේ මායාවී ස්වභාවය අවබෝධ කොට ගන්නා වූ සත්පුරුෂයා , දෙවනුව නිත්‍ය පන්චශිලයෙන්ද පොහොය අට ශිලාදී වූ පිළිවෙතින් ඉන්ද්‍රිය දමනයට අඩිතාලම දමා ගත යුත්තේය. තෙවනුව සමථාදී වූ කර්මස්ථානයක් පුහුණු වීමෙන් නොදැමුණු ඉන්ද්‍රියයන් දාන්ත භාවයට පත් කොට ගත්තා වූ තැනැත්තේ එම ඉන්ද්‍රියයන්ගේ කිසි ලෙසකින් එක ලෙස නොපවතින්නා වූ අනිත්‍ය වූ ස්වභාවයද , එසේ වූ ජරාවට පෙරලීමට පත්වන්නා වූ දැයෙන් ලබා දෙන්නා වූ දුක්ඛ ස්වභාවයද , එසේ වූ දුක් උපදවන්නා වූ ඉන්ද්‍රිය ධර්මයන් කිසි ලෙසකින් වත් තම වශයයේ පවත්වා ගැනීමට අසමත් වන්නා වූ ස්වභාවය වූ අනිත්‍ය ලක්ෂණයද පරිපුර්ණව අවබෝධ කොට ගත් කල්හි පරිපුර්ණව ඉන්ද්‍රිය ස්වාමිත්වයට පත්වන්නේය.

මෙසේවූ දැඩි ලෙසින් එයට අස්වූ , දාස වූ සත්වයා මඩින්නා වූ පන්චෙන්ද්‍රියන් හි ස්වාමිත්වයට පත් වූවාහු ලොව ජය ගත්තා වන්නේය. සැබවින්ම පිදිය යුත්තකු වන්නේය. මඩෙහි ඉපිද ඉහල නැග ධර්මය නමැති හිරු රැස් හි කිමිද බබලන්නා වූ සත්පුරුෂ පද්මයක් වන්නේය.

No comments:

Post a Comment