Saturday, March 3, 2012

එකක් ඇරෙනකොට එකක් ආතල් ... මට නම් දැන් පිස්සු වගේ ...


හත් දෙයියනේ .. අර යුද්දේ තිබ්බ කාලේ තිබ්බේ ඒක විතරයි. වෙන ඉතින් මදි පාඩුවකට කියල තිබ්බේ එතන මෙතන පුපුරන බස් බෝම්බ වලට අහුවෙච්ච මිනි ගොඩවලුයි (දැන් ඉතින් මිනිස්සුන්ට ඒවා මතකත් නෑ නේ ) , කොටි ගෑනුන්ගේ විරිත්තාගෙන ඉන්න ඔලුයි විතරයි නෙව. ඒකට දැන් !!! යුද්දේ ඉවර වෙලා දැන් තමයි ලාංකේය ජහමනයා ඇත්තටම පට්ට ෆන් ගන්න , කැරකිලා යන ෆන් දෙන්න පටන් ගත්තේ කියලයි මගේ නම් ටිකිරි මොලේට පේන්නේ.

ලංකාවේ මේ දවස් වල තියෙන පිස්සු පීකුදු වෙන පට්ට ආතල් දිහා බැලුවහම අනිත් රටවල උන් ගැන පුදුම දුකක් ඇතිවෙනවා ඕයි. උන්ට මොකද්ද තියෙන්නේ ? වැඩ කරලා ගෙදෙට්ට ඇවිල්ල දෙයියනේ කියල දෙකයි පනහේ ඩ්රාමා එකක් බලල , බියර් එකක් ගහල නිදා ගන්න එක විතරයි නේ...  එහෙමද අපේ රට ? ආයි දෙකක් නැහැ , ලෝකෙන් උතුම් රට ලංකාවයි කියල හැමදාම උදේ පාන්දර ස්වදේශීය සේවෙන් මුරගාන එක ඇත්තටම ඇත්ත වෙන්නම ඕනි...

එකක් ඇරෙනකොට එකක් ලංකාවේ ජහමනයට ආතල් දෙන්න පාර්ලිමේන්තුවේ අවස්ථාවාදී නයි මුගටි (මෝඩ ජහමනයා ඉදිරිපිට පමණයි අයිබොවන් , පාටියේදී , උත්සවයේදී , රටේ සම්පත් බෙදාගනිමේදී නම් ගජ යාලුවෝ ) සෙට් එකයි , හන්දි හන්දි ගානේ ත්‍රි රෝද රථවල පාරිභෝගික සේවා දීල හම්බවෙලා පත්තරේ වැටෙන මෙගා නිලි සෙට් එකයි , සිවුර සුදු කොල්ලන්ට දීල පුමා ටි ගහගෙන රිටිගල ගිහිල්ල රාජාසන ලීලාවෙන් ඉඳගෙන එර්දියෙන් තායිලන්තේ වැඩලා බිත්තර කන මහා පුරුශෝතම පිස්සු හුටස් මහනුන්නන්සේලයි , එව්වා මෙව්වා කරලා විභාග වල ලකුණු එකතු කරලා කිච වෙන පුංචි පහේ කොමාලයි , ඩෝප් වෙලා මිනිස්සු යට කරලා මරන්න හදල තට්ටේ පලාගෙන ඉස්පිරිතාලේ ලගින බෙබේ ගනින්නාන්සේලයි , වඳුරඹ ඉන්න වඳුරන්ට බණ කියකිය ආතල් දෙන මෛත්‍රී බෝධිසත්ව බඩගෝස්තර පිස්සනුයි , බඩගින්නේ වතුර බිබී ඉන්න උන්ට අලි කොටි මදිවට තරු පෙන්නන නයිට් රේසුයි , අඩිය අඟලට තලපු පාරවල් සිං සිං ගාල වාෂ්ප වෙන මැණික් ඉල්ලමුයි , බෝල සෙල්ලන් කාලෙට ගැණු ඉස්කෝලවලට පැනල කිච වෙන රටේ අනාගතය බාරගන්න ඉන්න (අනේ රටට දෙයියන්ගේම පිහිටයි .. පුළුවන් එවුන් ගිලෙන්න කලින් පැන ගනිල්ලා ) රාජකීය අසහන කාරයෝ ටිකේ ආතලුයි ... හප්පා ඒ විතරක්ද , යැංකි උන්දලා ටිකයි , සංහාරෙන් ඉතුරු වෙලා තුවාල කබල් ලොවින කොටි හැතිකරෙයි , එකතු වෙලා නඩු දාගෙන , කොමිසන් දාගෙන නටන මානව හිමිකන් නාඩගම් මඩු වලින් අපේ ජහමනයට හැම වර්ෂයකම මේ කාලෙට නොවරදවාම ලැබෙන ලැබෙන ජාත්‍යන්ත්‍රණ කුමන්ත්‍රණ හා ජාත්‍යාල ආතල් ???

ඒ විතරක් නම් මදැයි ... දැන් මෙන්න ලංකාවට "සිව් මහ බඹුන් දුන් විවරණින් ...." ඔටුන්න හිමි සං(ක්)කිලි කුමාරයෙකුත් ලැබිල තියෙන්නේ , අපටත් දැන් ඉතින් මොනවාද අඩු ? ඕක විතරමයි වෙන්න ඇති මදි පාඩුවට තිබ්බේ. ලංකාවේ මිනිස්සුන්ට එදා වෙලා කන්න නැතත් , පෙට්‍රල් ලීටරයක් ගන්න කිඩ්නියක් සේල් දාන්න උනත් මේ විගඩම් ආතල් බලාගෙන හිටියම දවස් යනවා තේරෙයිද ?

අනේ පොඩ්ඩක් සද්දේ වහගෙන ඉන්නේ පැදුරෙනුත් බිමට වැටිලා දත කට පුට්ටු වෙලා මාර්කස් ගොයියාගේ පින්තුරේ කොහේ එර්දි උනාද කියල නියව නියවා බලන් ඉන්න ජෙප්පෝ සෙට් එකයි , භේද බින්න වෙලා පස් දීල , බ්‍රේස්ලට් චුව්න්ගම කවල , රබන් ගහල , හෝන් ගහල , වලන් බිඳලා , ජාතික ගීය කොලේ බලන් වරද්දල කියල දෙන්න තියන ආතල් ඔක්කොම දීල දැන් දෙන්න දෙයක් නැතුව පාවී පාවී කුලල් කකා ඉන්න අලි සෙට් එකයි විතරමයි. ආහ් අමතක උනා... ලොකු උන්නැහේල ටික නැතත් ප්‍රාදේශීය පොල්කුඩ්ඩෝ ටික ලකුණු දාගන්න පඩි දවසට ඒක ගන්න බයිසිකලේ නැගල පිදුරු/වතුර හප හපා ගිහින් ජහමනයට ලබාදෙන අහිංසක ආතල් ? යන එනමන් නැතිවෙලා ඉන්න මේ සෙට් දෙක තුන නම් ඉතින් ඉතින් තව චන්දයක් ලං වෙනකොට ෆෝම් වෙලා එන්නේ නැතැයි , ලාංකේය ( ඇයි ඕයි දැන් ලාංකිකයෝ නැහැනේ .. ඔක්කොම මොඩ් වෙලා )... ජහමනයව අන්දලා ගන්න.

එක ජෝකර්ල සෙට් එකක් ආතල් දීල ඉවර වෙනකොට හිඩැස පුරවන්න අපේ ජනතාවට තියෙන ආදරේටම කොහෙන් හරි ඇවිල්ල තව අපතයෙක් හරි සෙට් එකක් හරි කර දෙනවනේ. එක කාලෙකට දුටුගැමුණු කෝලම , එයිට පස්සේ ආචාරිය කෝලම , එයිට පස්සේ මහා පාර මැද මිනී මරාගන්න චන්ද කෝලම , චන්ද කාලෙට පෙන්නන මුතුහෙට්ටි කෝලම , එව්වා මෙව්වා කරන කොමා කෝලම , බුදුන් ලංකාවේ උපද්දන පුරා විද්‍යා කෝලම , මෛයිත්රි බුද්ධ කෝලම , සමන්ත බඩ්ඩ කෝලම .... එහෙම බැලුවොත් නම් ඉතින් දහඅට සන්නියේ තියෙන සන්නි ගානටත් වැඩිය උන සන්නිපාත කාරයෝ ලංකාවේ ....

අපිට ඉතින් තුන්සිය හැටපස් දවසෙම ආතල් තමයි. වැසියන්ට මෙහවූ ලෝකල් /ඉන්ටර් නැෂනල් දෙකෙන්ම මදි නොකියන්න ආතල් දෙන වෙන රටක් නම් ලොවෙත් නැත , ලොවි ගහෙත් නැත.
අපි නම් මාර ලක් කාරයෝ

3 comments:

  1. mama kiyawapu hondama bloggi lipiya. thanks . aththa niyameta kiyala. oka thamai ada lankawa.

    ReplyDelete
  2. ආශ්චර්්‍යය හලෝ ආශ්චර්්‍යය

    ReplyDelete
  3. ආශ්චර්යයට තව සුට්ටං දුරයි නොවැ :(

    ReplyDelete