Friday, June 15, 2012

පරිඝනක වෛරස සමග ඔට්ටු වීම (1 කොටස )

©2012 masror.com 
  • කොම්පුටරේ හරිම ස්ලෝ බං ප්‍රෝග්‍රෑම් එකක් දෙකක් ඇරිය හැටියේ වෙන කිසි වැඩක් කරන්න බැරි වෙනවා
  • බ්‍රවුසරේ ඉස්සර වගේ නෙවෙයි හරියට ක්‍රෑෂ් වෙනවා... මොකද දන්නේ නැහැ 
  • මගේ නෙට් පාවිච්චිය එක පාරටම ඩබල් වෙලානේ බං .. මුකුත් බෑවේ නැති වෙලාවටත් හිටු කියල ට්‍රැෆික් උඩ පහල යනවා .. මොකද්ද කියල හිතා ගන්න බැහැ
  • ඊයේ ප්‍රෝග්‍රෑම් එකක් ඩවුන් ලෝඩ් කරලා ඉන්ස්ටෝල් කරා .. මං සයිට් එහෙකට ගියහම මගේ කොම්පුටරේ ඉන්ෆෙක්ට් වෙලා කියුව. ඒගොල්ලන්ගේ ප්‍රෝග්‍රෑම් එක දාල ඒව ඉවත් කර ගන්න කියල කියුව. එයිට පස්සේ ඒ ප්‍රෝග්‍රෑම් එකෙන් හරි වදේ. වින්ඩෝස් ඕපන් කරනවයි. ස්කෑන් කරන්න කියනවයි එක විකාරයි. මට පෙන්නේ ඒක වෛරසයක් වගේ. අයින් කරන්න දෙන්නෙත් නැහැ ඒක...

මේ ඉතාම සුලභ නිතර දෙවේලේ පරිඝනක භාවිතා කරන්නන්ගෙන් අසන්නට ලැබෙන වාක්‍ය කිහිපයකි. ලිනක්ස් (Linux) , මැක් ඕ.එස් (Mac OS X), යුනික්ස් (UNIX) ආදී කොච්චර ඔපෙරෙටින් සිස්ටම් තිබ්බත් තවමත් බොහෝ දෙනා පාවිච්චි කරන්නේ වින්ඩොව්ස් ය. ලංකාව වැනි රටවල බොහෝ පරිඝනක වල ඇත්තේ හොර වින්ඩෝස් කොපිය. ඒවා හට මයික්‍රොසොෆ්ට් ආයතනය මගින් නොමිලයේ හෝල් සෙල් නිකුත් කරන අප්ඩේට් කිසිවක් ලබා ගත නොහැක. ඒ නිසා ඒවායේ මෙහෙයුම් පද්ධතියේ ඇති වාර්තාගත වූ බොහෝ අනාරක්ෂිත ස්ථාන (recorded security vulnerabilities ) එලෙසින්ම පවතින අතර ඒ අනාරක්ෂිත ස්ථාන ඉලක්ක කොට නිපදව ඇති වෛරස (virus) , මල්වෙයාර් (malware) , ස්පයි වෙයාර් (spyware) ආදී හානිකර මෘදුකාංග වලට හිතේ හැටියට ඉන්ස්ටෝල් වී වැඩ කිරීමට පසුබිමක් ලෙහෙසියෙන් සැකසී ඇත්තේය.

ඇයි මෙච්චර වෛරස වින්ඩෝස් වලට විතරක් ?
එයට හේතු කීපයකි. වින්ඩෝස් මෙහෙයුම් පද්ධතියේ ඇති සෙකියුරිටි මොඩලය සරලය. ලෙහෙසියෙන් නොසලකා හැර තමන්ට අවශ්‍ය පරිදි කටයුතු කර ගත හැක. එමෙන්ම බොහෝ දෙනෙකුන් පාවිච්චි කරන නිසා ද , වෛරසයක් නිෂ්පාදනය කිරීමෙන් වැඩි පැතිරීමක් බලාපොරොත්තු විය හැකි නිසාද , ඉතා සුළු දැනුමකින් වුවද වෛරසයක් නිපදවීමට හැකි නිසාද බොහෝ වෛරස ලියන්නෝ වින්ඩෝස් මෙහෙයුම් පද්ධතිය ඉලක්ක කරගෙන වෛරස නිපදවති. වින්ඩෝස් 7 කෙතරම් දියුණු යයි කීවද , XP මෙන්ම එයද අඩුවක් නැතිව වෛරස වල ප්‍රහාරයට ලක්වේ . උඩින් පෙන්නන දැඩි ආරක්ෂාකාරී ස්වභාවය (tight security model) ඇතුලත නැත.

ලිනක්ස් , මැක් ඕ.එස් ආදී අනිත් මෙහෙයුම් පද්ධති සකසා ඇත්තේ හැත්තෑ ගණවල මුලින් සැකසු හද්ද පරණ යුනික්ස් මොඩලයට අනුව නමුත් මොලේ ඇති මිනිසුන් පිරිසක් විසින් සැකසු හෙයින් ඒවායේ අරක්ශාකාරිත්වය ඉතා ඉහල මට්ටමක පවතී. ඒවායේ ෆයිල් පද්ධතිය සකසා ඇති ආකාරය අනුව වෛරසයකට හිතු සැටියේ ස්ථාපිත වී තව දුරටත් පැතිරීමට , පධතිය තම ග්‍රහණයට ගැනීමට ඇති හැකියාව අඩුය. එමෙන්ම භාවිතා කරන පිරිස අඩු නිසාත් වෛරසයක් ලිවීමට ඉතා ඉහල තාක්ෂණික දැනුමක් අවශ්‍යවන නිසාත් , බොහෝ මහන්සි වී ලියුවත් එහි පැතිරීම අවම වීමට ඇති ඉඩත් නිසා මේ මෙහෙයුම් පද්ධති වලට වෛරස වලින් වන විපත් අඩුය. ඇත්තේම නැතයි කිව යුතුය. 

මං ඇන්ටි වෛරසයක් දාල තිබ්බේ. එත් මට වෛරස ආවනේ!
වියදම් කිරීමට මුදල් ඇති බොහෝ දෙනාද පරිඝනකයක් ගත් පසුව , පළමුවරට වයිරසයකින් බැට කෑමට පෙර, ඇන්ටි වෛරස මෘදුකාංගයකට මුදල් වියදම් කිරීමට මැලි වෙති. වෛරසයක් පැමිණ එහි ආදීනවය හොඳින් විඳ නන්නත්තාර වුවාට පසුව නම් කීයක් ගියත් කමක් නැත කියා හොඳ ඇන්ටි වෛරසයක් සොයා දමති. ඇන්ටි වෛරස මෘදුකාංගයක් නොමැතිව නම් වින්ඩෝස් පරිඝනකයකින් අන්තර්ජාලයේ සැරිසැරීම නිකරුනේ සියදිවි නසා ගැනීමට කමිකාසේ මෙහෙයුමකට යනවා වැනිය. අද නැත්නම් හෙටම ජම්බු ෂුවර්ය. ඒ නිසා බොහෝ දෙනා කරන්නේ නිකන් දෙන Avast , AVG , Avira ආදී ඇන්ටි වෛරස මෘදුකාංගයක් භාවිතා කිරීමය. 

මේවා භාවිතයේ ඇති අඩු ලුහුඬු කම් බෙහෙවකි.
  • නිකං දෙන එඩිෂණයේ ඇත්තේ සිමිතම කොටස් කීපයක් පමණකි (limited features). එහි බොහෝ විට අඩංගු වන්නේ වෛරස හසුකර ගන්නා පද්ධතිය (scan engine) හා එය පාවිච්චි කරන්නාට එම පද්ධතිය මෙහෙයවීමට සැකසු සරල වින්ඩෝව (user interface) පමණකි. මෙය ස්ථාපිත කරගෙන සම්පුර්ණ ආරක්ෂාවක් බලාපොරොතු වුවත් එය එසේ සිදු නොවේ. මුදල් ගෙවා ලබාගත යුතු අනිකුත් කොටස් සියල්ල ස්ථාපිත කර ගත් පසුව පමණක් යම් පමණක ආරක්ෂාවක් බලාපොරොතු විය හැකිය.

  • වෛරසයක් , නිෂ්පාදකයා විසින් පිටට නිකුත් කල පසු එය වාර්තා වීමටත් , ඉන්පසුව එය හසුකර ගෙන ඉවත් කර දැමීමට අවශ්‍ය සැලසුම් නිපදවීමටත් යම් කිසි කලක් ගත වේ. මේ කාලය තුලදී එම වෛරසය නිදැල්ලේ සැරිසරන අතර කිසිදු ඇන්ටි වෛරස මෘදුකාංගයකට අසු නොවේ. වෛරසය හඳුනා ගත හැකි කේතයන් (virus definishion updates ) ඒ ඒ සමාගම් විසින් නිකුත් කලද ඔබ ඔබගේ ඇන්ටි වෛරස මෘදුකාංගය අප්ඩේට් නොකළේ නම් , එසේ කරන තෙක් එම වෛරසය හඳුනාගැනීමට ඇන්ටි වෛරස මෘදුකාංගය අසමත් වෙයි. මේ හේතුව නිසා සියලුම ඇන්ටි වෛරස මෘදුකාංග වල පාහේ දැන් , මෘදුකාංගයක් ක්‍රියාකාරී වන ආකාරය අධ්‍යයනය කර එහි හොඳ නරක , විනාශකාරී බව සොයාගැනීමට හැකියාව ඇති අනු පධතියක් (Heuristic analysis engine ) ක්‍රියාත්මක වෙයි. මගේ පෞද්ගලික අත්දැකීම් අනුව මෙය බොහෝ ඇන්ටි වෛරස මෘදුකාංග වල හරිහැටි ක්‍රියාත්මක නොවේ. හොඳින් ක්‍රියාත්මක වන ඇන්ටි වෛරස මෘදුකාංග වල වුවද හරිහැටි කොන්ෆිගර් කිරීමට නොදන්නා කම නිසා මෙයින් උපරිම ප්‍රතිපල බොහෝ දෙනා නොගනිති.

  • ඇන්ටි වෛරස මෘදුකාංග වල වෛරස හඳුනා ගත හැකි හැකියාව ප්‍රශස්ත මට්ටමකින් නොපවතී. බොහෝ ඇන්ටි වෛරස මෘදුකාංග වල අලුත් වෛරස හඳුනා ගැනීමේ හැකියාව 40% මට්ටමේ පවතින බව නිර්කිෂකයෝ පවසති. ඔබ ළඟ සැකකටයුතු ෆයිලයක් ඇත්නම් එය virustotal සයිටය මගින් පරික්ෂා කර එහි ඇත්ත නැත්ත බලා ගත හැක.

  • මුදල් ගෙවා හොඳම තත්වයේ ඇන්ටි වෛරස මෘදුකාංගයක් දමා ගතද , ඒ බන්ඩලයේ ඇති නානාප්‍රකාර මෘදුකාංග , සියල්ල ක්‍රියාත්මක වීම නිසා ද , ෆයිලයක් භාවිතා කරන වාරයක් පාසා එය පරික්ෂා කිරීමට පටන් ගැනීම නිසාද අලුත් ම අලුත් පරිඝනක පද්ධතියක වුවද වේගය 30 % කින් පමණ අඩාල වීම බලාපොරොත්තු විය යුතුය. ඒ නිසා ඇතැම්හු ඇන්ටි වෛරස මෘදුකාංගයේ ඇති සමහර කොටස් අක්‍රිය කර දමති. මෙය ද පහසුවෙන් වෛරස ඒමට හේතුවක් වේ.
මේ හේතුන් නිසා ඇන්ටි වෛරස මෘදුකාංගයකින් සම්පුර්ණ ආරක්ෂාවක් නොලැබේ. සැම විටම අන්තර්ජාලයේ සැරි සැරිමේදී තමන්ගේ ව්‍යවහාර බුද්ධියද යම් පමණකට පාවිච්චි කල යුතුය. බැනර් ඇඩ් , පොප් අප් වින්ඩෝස් ආදිය නොසලකා හැරීම හෝ බ්ලොක් කර දැමීම , සැකකටයුතු ෆයිල්ස් ඩවුන්ලෝඩ් නොකිරීම , නොදන්නා අමුතු සයිට් වලින් දෙන මෘදුකාංග ඉන්ස්ටෝල් නොකිරීම , පිළිගත් සයිටයකින් පමණක් මෘදුකාංග ඩවුන්ලෝඩ් කිරීම , සැකකටයුතු මෘදුකාංග , ෆයිල්ස් සමග දිනපතා කටයුතු කිරීමට තිබේ නම් ඒ සඳහා වචුවල් මැෂිමක්  භාවිතා කිරීම මගින් තමන්ගේ පරිඝනකයට වයිරස මගින් සිදුවිය හැකි හානි බොහෝ දුරට වලකා ගත හැකිය.

උදාහරණයක් ලෙස මා වින්ඩෝස් මැෂිමක් භාවිතා කල 2006-2010 කාලයේදී කිසිකලක ඇන්ටි වයිරස මෘදුකාංගයක් භාවිතා නොකලෙමි. පධතියේ වේගය අඩුවෙන නිසාත්
මෙටාස්ප්ලෝයිට්  සමග ඒවා පිස්සු කෙලින නිසාත්ය. නමුත් කිසි දිනක වයිරසයක් ප්‍රධාන මෙහෙයුම් පද්ධතියට ඇතුල් නොවීය. 


දිග වැඩියි .. 1.00 A.M වෙලාව ..තව කෑල්ලක් පස්සේ ...

No comments:

Post a Comment